කොටස් වෙළඳ පොළ

පහුගිය ලිපියෙන් කියපු විදිහටම මේ ලිපිය හරහ කොටස් වෙළඳ පළ ගැන පොඩි හැඳින්වීමක් තමයි කරන්න සූදානම. කොටස් වෙළඳපළ කියන්නෙ මොකක්ද කියල නිර්වචනය කරන්න කලින් කොටසක් කියන්නෙ මොකක්ද කියන්නම්.

සමාගමක ප්‍රාග්ධනය සමාන පංගුවලට බෙදුවොත් ඒ එක් පංගුවකට කොටසක් කියල හඳුන්වනව. මේ කොටස් අයිතිකරුවන්ට  සමාගමේ හිමිකාරීත්වය, ලාභාංශ සඳහා අයිතිය, හිමිකම් සඳහා අයිතිය, ඉහල තනතුරු පත්කිරීමේදී ඡන්දය දීමේ අයිතිය වගේ වරප්‍රසාද ලැබෙනව.

කොටස් වෙළඳපළක් විදිහට හඳුන්වන්නෙ මිලකල සමාගම්වල (සමාගමේ ප්‍රාග්ධන වටිනාකම තක්සේරු කල සමාගම්) කොටස් විකිණීම මිළදීගැනීම සිදුකිරීම කරන ස්ථානයකට. එක් රටකට කොටස් වෙළඳපළ කීපයක් තියෙන්න හැකියාව තියෙනව. නමුත් අපේ රට ඇතුලෙ තිබෙන එකම කොටස් වෙළඳපළ කොළඹ කොටස් වෙළඳපළ පමණයි. හරි විදිහට කියනව නම් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව. ( Colombo Stock Exchange )


කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව. ( Colombo Stock Exchange )
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ලාභ ලැබීම පරමාර්ථය කරගත් ආයතනයක් නොවන අතර රාජ්‍ය ආයතනයක් වෙන්නෙත් නැහැ. නමුත් ශ්‍රී ලංකාව තුල පවතින එකම කොටස් වෙළඳපළ වීම හේතුවෙන් රජය මඟින් කොළඹ කොටස් වෙළඳපළ සඳහා මැදිහත් වීමක් ‍සිදුවෙනව. CSE (මෙතැන් සිට කොළඹ කොටස් වෙළඳපළ හඳුන්වන්නේ මෙම කෙටි නමින්) පාලනය අධ්‍යක්ෂක මන්ඩලයක් හරහ සිදුවෙනව. මෙතනදි රජයේ මුදල් ඇමතිවරය විසින් 04 දෙනෙක් පත් කරනු ලබනව. තවත් 05 දෙනෙක් පත් කරන්නෙ කොටස් තැරැව්කාර සමාගම් මඟින්.

 කොටස් වෙළඳපළ ප්‍රධාන කාර්යභාරය වෙන්නෙ සමාගම් සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට අවශ්‍ය ඉඩකඩ සැපයීම සහ ජනතාවට තමන්ගෙ ඉතිරි කිරීම් ඵලදායී ආයෝජන බවට පත්කරගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය ඉ‍ටුකිරීමයි.


සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ( Securities and Exchange Commission - SEC )
සාධාරණ වෙළඳපළක් ඇතිකිරීම සහ පවත්වාගෙන යාම, ආයෝජකයන් ආරක්ෂා කිරීම, සුරැකුම් පත් වෙළඳපළ විධිමත් කිරීම, වෘත්තීම ප්‍රමිති පවත්වාගෙන යන බව සහතික කිරීම, වන්දි අරමුදලක් පවත්වාගෙන යාම වැනි කටයුතු මෙම කොමිෂන් සභාවේ අරමුණු වෙනව....

ඒ වගේම බලපත්‍ර ලබාදීම, වෙළඳපළ අධීක්ෂණය, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, දඩුවම් පැමිනවීම හා ගනුදෙනු අත්හිටුවීම SEC එකට තියෙන ප්‍රධාන බලතල වෙනව.


මධ්‍යම තැන්පතු ක්‍රමය ( CDS )
කොටස් වෙළඳපළට පිවිසෙන ආයෝජකයෙක් මධ්‍යම තැන්පතු ක්‍රමය තුල තමන්ගෙ ගිණුමක් ආරම්භ කල යුතු වෙනව. මෙම මධ්‍යම තැන්පතු ගිණුම තුල ආයෝජකයකු විසින් මිලදීගන්නා කොටස් තැන්පත් වෙනු ලබනව. මධ්‍යම තැන්පතු ක්‍රමයේ ප්‍රධාන කාර්යය වෙන්නෙ භාරකරුවෙකු විදිහටත් ආරක්ෂකයෙකු ලෙසටත් කටයුතු කිරීමයි.


මිල දර්ශක
සමාගම් කොටස් වල මිල වෙනස් වීම මැන බලනනේ මිල දර්ශක වලිනි. කොළඹ කොටස් වෙළඳපළ තුල වැඩි වශයෙන් භාවිතා වල දර්ශක දෙක වන්නේ සියලු කොටස් මිල දර්ශකය සහ මිලංක මිල දර්ශකය වේ.

සියලු කොටස් මිල දර්ශකය ගණනය කරනු ලබන්නේ වර්තමාන වෙළඳපළ ප්‍රාග්ධනීකරණය, පාදක වර්ෂයේ වෙළඳපළ ප්‍රාග්ධනීකරණයෙන් බෙදා 100න් වැඩි කිරීම මගින්. මෙහිදී පාදක වර්ෂය ලෙස ගනු ලබන්නේ 1985 යි.

මිලංකා මිල දර්ශකය  වර්තමාන වෙළඳපළ ප්‍රාග්ධනීකරණය, පාදක වර්ෂයේ වෙළඳපළ ප්‍රාග්ධනීකරණයෙන් බෙදා 1000න් වැඩිකිරීම මඟින් ගණනය කරනු ලබයි. මිලංකා මිල දර්ෂකය සඳහා පාදක වර්ෂය ලෙස ගනු ලබන්නේ 1998 යි.
* මිලංකා මිල දර්ශකය ගණනය කිරීමේදී ‍ ‍යොදාගන්නේ තෝරාගත් සමාගම් 25ක් පමණි 

තවද කොටස් වෙළඳපළ තුල ක්ෂේත්‍ර 20ක් යටතේ සමාගම් ලැයිස්තු ගතවී ඇති අතර මේ එක් එක් ක්ෂේත්‍රය සඳහා වෙන වෙනම දර්ශක ගණනය කරනු ලබයි. මේ දර්ශක ආංශික දර්ෂක ලෙස හඳුන්වයි.
මෙම ලිපිය සමඟින් මූලික හැඳින්වීමේ ලිපි පෙළ අවසන් කරන අතර අදින් පසුව මෙම බ්ලොගය ආරම්භ කල මූලික අරමුණක් වූ කොටස් පිළිඹදව තොරතුරු ඉදිරිපත් කිරීම හා  ගනුදෙනු කරන ආකාරය පිළඹදව තොරතුරු ඉදිරිපත්වේ.  තැරැව්කාර සමාගම් පිළිඹඳ හැඳින්වීමක් නොකලත් මීළඟ ලිපි පෙළ තුලදී ඒ ගැන සඳහන් කිරීම සිදුවෙනු ඇති. තව තවත් මූලික කරුණු දැන ගැනීමට කැමති යම් අයෙක් වේ නම් www.cse.lk යන කොළඹ කොටස් වෙළඳපළ නිල වෙබ් අඩවියෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය. එමෙන්ම යම් ප්‍රශ්නයක් ඇත්නම්  එය කමෙන්ටුවක් ලෙසට ඉදිරිපත් කළහොත් ඔබට අවශ්‍ය තොරතුරු මාගේ දැනුමේ තරමින් ලබාදිය හැක.

මීලඟ ලිපි පෙළින් සමාගම් කොටස් පිළිඹඳව සහ වෙළඳපළ ගනුදෙනු වඩාත් ලාභදායී  සහ සැලසුම් සහගත ආකාරයට කරගන්නේ කෙසේද යන්න කතාබහ කරමු.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

10 comments:

Anonymous said...

FM විෂය ධාරාව හදාරණ වගේම..A/L නංගිලා මල්ලිලාට නොදන්න දේවල් දැන ගන්නත්,අමතක වුන ඒවා මතක් කර ගන්නත් අපූරු ලිපියක් යාලු..

Amila Chathuranga said...

මෙතෙක් හොදයි ඉදිරිය බලමු...කොහොමත් තාක්ෂණික දේවලට වැඩිය හිට්ස් සහ කමෙන්ට් බලාපොරොත්තු වෙන්න එපා..මොකද ගැටලුවක් නැතුව හොඳට පැහැදිලි ව තිබුනොත් දමන්න කමෙන්ට් එකක් නෑනෙව..

bingo said...

1. ප්‍රග්ධනිකරණය ???
2.පාදක වර්ෂය තීරණය කරන්නේ කොහොමද?ඇය් 1985,1998 වගේ ගොඩක් පරණ අවුරුද්දක් ගන්නේ?

Chart Reader said...

@අසනි: එහෙමද... බොහොම ස්තූතියි :)

@indi : මේ වගේ සබ්ජෙක්ට් වලට කමෙන්ටු හිට්ස් නම් වැඩිය ලැබෙන එකක් නම් නෑ තමා... ස්තූතියි කමෙන්ටුවට..

@bingo: 1) ඔතන වෙළඳපළ ප්‍රාග්ධණීකරණය කියන්නෙ වෙළඳපළ මුළු වටිනාකම කියන එක...
උදාහරණයක් විදිහට A, B, C කියන සමාගම් තුන නම් වෙළඳපලේ තියෙන්නෙ ඒ ඒ සමාගමේ තියෙන කොටස් ප්‍රමාණය අදාල වෙලාවෙදි තියෙන වටිනාකමින් වැඩි කරල එකට එකතු කලහම එන අගය වෙළඳපළ මුළු වටිනාකම වෙනව..

2) පාදක වර්ෂය තීරණය කිරීම නම් කරන්න ඇත්තෙ CSE හරි SEC එකෙන්...
*1984 තමයි කොටස් වෙළඳපළ මහජනතාවට විවෘත භූමියක් වුනේ
*1997 කොටස් වෙළඳපළ ගනුදෙනු ස්වයංක්‍රීයව සිදුකිරීම පටන් ගැනුන
සමහර විට මේ සිද්දි දෙකේ බලපෑමක් ඇති..

මේ උත්තර දුන්නෙ මගේ දැනුමෙ තරමින්... වැරදි තියෙන්න පුළුවන්... තවත් කෙනෙකුගෙන් අහල බලල කන්ෆර්ම් කරගන්න :)

Kasun said...

අම්මෝ ඇති යන්තන් ඇවිත්. මූලික දැනුම දීලම වැඩේට බහින එක හොඳයි.

පන්සල් හංදිය said...

හොඳයි .....
ඔහොම යං ...........

පිස්සු පුසා said...

එල..අනිත් ටිකත් ඉක්මනටම දාන්න

bingo said...

bro,colombo securities exchange Ltd was established in 1985 which took over the operations from colombo share brokers' asso.

CSE was admitted to the WFE in 1998.

found this in net....
these might be the reasons right?:)
read this in net

Unknown said...

CDS ගිණුමක් ආරම්භ කරන්නේ කෙසෙ ද

සාතන් said...

තැරැව්කාර සමාගමක් හරහ තමා ඒක කරන්න පුළුවන් වෙන්නෙ...

http://colombostockmarket.blogspot.com/2011/08/blog-post_22.html

Post a Comment