ස්ටොප් ලොස් 3

Stop Loss - 1 (කොටස් වෙළඳපළ මූල්‍ය කළමණාකරණය)
Stop Loss - 2

කලින් ලිපි දෙකෙන් කතා කලානෙ ස්ටොප් ලොස් කියන එකේ වාසියයි, ඇයි එහෙම එකක් තියාගන්නෙ කියන එකයි. ඒ දෙක කියවල නැත්නම් මුලින් ඒ ලිපි දෙක කියවන එක සෑහෙන්න වැදගත් වෙයි. මොකද ඒ ලිපි දෙකේ ඉදිරිපත් කරපු කරුණු ආපහු ඉදිරිපත් කරන්න මේ ලිපියෙදි බලාපොරොත්තු නොවන නිසා. ඒ වගේම කලින් ලිපියෙන් ප්‍රශ්නයකුත් ඇහුවනෙ. ඔතනදි ඇවරේජ් කරන ක්‍රමය තමයි උත්තර දීපු දෙන්නම දාල තිබුනෙ. ඒ උත්තරය නම් වැරදියි. නමුත් ඉදිරිපත් කරපු අදහස නම් කතා කලයුතුම  මට අමතක වුනු මාතෘකාවක්. ඒ ගැන ඉදිරි ලිපියකින් කියන්නම්.

1 වන රූපය
ඔය පින්තූරෙ තියෙන්නෙ අපිට ස්ටොප් ලොස් එක ගැන ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ. A කියන පොයින්ට් එකෙන් අපි කොටස් ගන්නව. ඊට පස්සෙ මිල ටිකක් වැඩි වෙලා අපිට ලාභයක් එන සීමාවට කලින් (කොළපාට ඉරෙන් පෙන්නන්නෙ ඒ සීමාව) ආපහු මිල පහලට ඇවිත් B කියන අපේ stop loss පොයින්ට් එකත් කඩාගෙන පහල එනව. එතනදි අපි කරන්නෙ අපිටම දාගත්තු නීතියෙ හැටියට පාඩුවට විකුණනව. ඒත් C කියන තැනින් කොටස් මිල පහලට එන එක නැවතිලා අපි විකුණපු කොටස් තියන් හිටියනම් ලාභයක් ගන්න පුළුවන් සීමාවට යනව. මේ විදිහට ලැබෙන්න තියෙන ලාභය නැතිවෙන එක අඩුකර ගන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නය.

ක්‍රමය බොහොම සරලයි. මේකට තමන් කොටස් මිලදී ගන්න යන සමාගමේ කොටස් මිල වෙනස් වෙන පරාසය ගැන නම් පොඩි අවබෝදයක් තියෙන්න ඕන වෙනව. උදාහරණයක් විදිහට යම් සමාගමක කොටස් මිල සාමාන්‍යයෙන් දවසකට රු 1ක් 2ක් අතර ප්‍රමාණයකින් ඉහල පහල වෙනස් වීම කියන්න පුළුවන්. වරදවා තේරුම් ගන්න එපා මේ දවසකට මිල වෙනස් වෙන පරාසය කිව්වෙ කලින් දවසට සාපේක්ෂව සමාගමක කොටස් මිල ඉහල පහල ගිය ප්‍රමාණය නෙමෙයි, දිනයක් ඇතුලතදි වාර්ථා කරන උපරිම මිලත් අවම මිලත් අතර තියෙන පරාසය.

ප්‍රශ්නෙට උත්තරේ කියන තැනට එමුකො. 01වෙනි රූපෙ  මාක් කරල තියෙන X කියන දුර ප්‍රමාණය (දුර කියල හඳුන්වන්නෙ ලක්ෂ දෙකක් අතර තියෙන මිල වෙනස) A සහ B අතර දුරට වඩා වැඩි වුනොත් අපේ ප්‍රශ්නය විසදෙනව. ඒ කියන්නෙ අපේ stop loss පොයින්ට් එක C කියන තැනට වඩා පහලින් තියන්න පුළුවන් නම් ප්‍රශ්නය විසදෙනව.

2 වන රූපය
දෙවනි රූපයෙන් පෙන්නල තියෙන්නෙ stop loss පොයින්ට් එක කලින් තුබුන වගේම දුරක් පහලට ගෙනිහින් තියෙන විදිහ. ඒ කියන්නෙ කලින් රුපියලක් (X) පහලින් නම් stop loss එක තිබුනෙ දැන් තියෙන්නෙ රුපියල් 2ක් (2X) පහලින් කියන එක.

අපි stop loss ‍කියල එකක් පාවිච්චි කරන්න ගත්තෙ ආයෝජනය කරන මුදලෙන් යම් කොටසක් විතරක් අවධානමට යොදවන අරමුණ තියාගෙනනෙ. මෙහෙම stop loss එක පහලට ගෙනියන්න ගියොත් කොහොමද අවධානම කළමණාකරණය කරගන්නෙ.

අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් රු 20,000 මුදලක් ආයෝජනය කරනව 10%ක අවධානම් අරගෙන කියල. එතනදි අවධානමට ලක්කරන මුලු මුදල වෙන්නෙ  රු 2,000 ක් විතරයි.

රු 20,000 *  10% = රු 2,000

මේ පුද්ගලය කොටස් 2,000ක් රු. 10 ගනනෙ මිලදී ගත්තොත් එක් කොටසකට ගන්න පුළුවන් වන අවධානමේ ප්‍රමාණය තමයි මේ කෙනාගෙ stop loss එකට තියෙන දුර වෙන්නෙ.

කොටස් ප්‍රමාණය *  stop loss එකට දුර = අවධානමට ලක් කරන මුළු මුදල
2,000 *  X = 2,000
X = 1

උඩින් පෙන්නවෙ පළවෙනි රූපෙයෙන් වුන ගනුදෙනුවෙ ක්‍රමය. ඒත් අපි දන්නව අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය විසඳගන්න නම් stop loss එකට තිබුන දුර ප්‍රමාණය 2වනි රූ‍පයෙ තරමට වැඩි කරන්න ඕන කියල. එතනදි අවධානමට ලක් කරන මුළු මුදල, stop loss එකට දුර කියන සාධක දෙක වෙනස් කරන්න හැකියාවක් නෑ. එකම ක්‍රමය වෙන්නෙ කොටස් ප්‍රමාණය වෙනස් කිරීම කියන එක. (2වෙනි රූපයෙ විදිහට 2X කියන්නෙ 2යි කියල අරගමු)

කොටස් ප්‍රමාණය = අවධානමට ලක් කරන මුදල / stop loss එකට දුර (2X)
කොටස් ප්‍රමාණය = 2,000 / 2
කොටස් ප්‍රමාණය = 1,000

අපේ මූලික ප්‍රශ්නයට උත්තරය තමයි ඔය. සරලව කිව්වොත් අවධානමට ලක් කරන මුදල ස්ථිර අගයක තියාගෙන ‍stop loss එකට දුර වැඩි කරන ගමන් ඒකට අනුරූපව කොටස් ප්‍රමාණය තීරණය කරන එක තමයි කරන්න තියෙන්නෙ.

උදාහරණයක් විදිහට අපි stop loss එක = 2X කියල ගත්තත්  ඇත්තටම සිදුකරන ආයෝජනයකදි අපිට stop loss පොයින්ට් එක තීරණය කරන්න වෙන්නෙ මීට උඩින් සටහන් කරපු සමාගමේ කොටස් මිල වෙනස් වෙන පරාසය අනුව. ඒ නිසා හැම කොටස් ගනුදෙනුවකදිම එකම අගයක් stop loss එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැති බව අවබෝධ කරගත යුතු වෙනව. නමුත් සෑම ගනුදෙනුවකදීම ආයෝජනයෙන් අවධානමට ලක්කරන ප්‍රමාණයෙ ප්‍රතිශතය නියතයක් කරගන්න.

මේ ලිපිය හරහ පැහැදිලි කරන්න හදපු දේ කට්ටියට  පැහැදිලි වෙන්න ඇති කියල විස්වාස කරනව. වෙනද වගේම කියන්න තියෙන්නෙ මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනව නම් ‍ප්‍රශ්නය කමෙන්ටුවකින් දාන්න.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Stop Loss - ii

මීට කලින් ලිපිය හරහ කිව්වනෙ Stop Loss කියන සංකල්පය ගැන. ඒ ලිපිය නොකියවපු කෙනෙක් ඒක මුලින් කියවල එන එක වැදගත් වෙයි. ඒ ලිපියට මෙතනින් යන්න. ඒවගේම ඒ ලිපියෙ අවසානයෙදි සටහන් කලා ඇත්තටම කොළඹ කොටස් වෙළඳපළ තුල තියෙන සමාගමක කොටස් මිල ඉහල පහල යෑම ගැන සටහනකුත් එක්කම Stop Loss සංකල්පය පැහැදිලි කරනව කියල. ඒත් එක්කම අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්න Stop Loss කියන සංකල්පය වැඩිදුර පැහැදිලි කරන්න.

උඩින් තියෙන්නෙ බයිරහා ෆාර්ම්ස් පී. එල්. සී කියන සමාගමේ දෛනික මිල වෙනස් වීමේ ප්‍රස්ථාරයක්.  (තියෙන එක කුළුනකින් කියවෙන්නෙ දවසක මිල වෙනස් වුන පරාසය. මේවට කැන්ඩල්ස් කියල කියනව)  BFL.N0000 කියන්නෙ ඒ සමාගමේ සංඛේත නාමය. මේ ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරන්නෙ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ අටවෙනිද ඉඳන් ජූලි මාසය වෙනකම් සිදුවුන මිල වෙනස් වීම. මිල පරාසය රු. 475 - රු. 255 වෙනකන්.

යම්කිසි ආයෝජකයෙක් A කියල සලකුණු කරල තියෙන තැනදි කොටස් මිලදී ගැනීමක් කලා කියල හිතමු. එදා දවසෙ මිල පරාසය රු. 472 - 485 අතර තමයි පැවතුනේ. අපි හිතමු මේ පුද්ගලය කොටසකටරු. 475 ක් විදිහට කොටස් 100 ක් මිලට ගත්ත කියල. සම්පූර්ණ ගනුදෙනුවෙ වටිනාකම රු. 47500 ක්. මේ පුද්ගලයගෙ බලාපොරොත්තුව මේ කොටස් එකක් රු 500 ගනනෙ විකුණන්න කියල හිතමු. ( අවස්ථාවට කලින් මේ සමාගමේ කොටස් රු. 525 වෙනකන් ඉහල ගිහින් තිබුන) නමුත් මේ පුද්ගල‍ය හිතපු නැති විදිහට පහුවදා ඉඳන් කොටස් මිල පහල බහින්න පටන් ගන්නව. මේ පුද්ගලය 10%ක අවධානමක් පමණයි ගන්නෙ කියල Stop Loss එක තියල තිබුන නම් මේ පුද්ගලයගෙ අලාභය රු. 4750ක්. නමුත් Stop Loss එකක් නොතිබුනා නම් මොකද වෙන්නෙ.

කෙටස් මිල දිගටම පහලට එනව. B කියන තැනදි ආපහු මිල ඉහල යෑමක් ගැන බලාපොරොත්තුවක් ආයෝජකයට ලබා දෙනව. ඒ වුනත් සිද්දවෙන්න පහුවදාම C කියන තැනින් ආපහු කොටස් මිල පහලට ඒම ආරම්භ වීම. ගිය සිකුරාද (2011-09-09) වෙනකොට මේ සමාගමේ කොටසක මිල රු. 258.50 ක්. Stop Loss එකක් නොතියපු මේ පුද්ගලය තමන්ගෙ පාඩුව කීය වෙනකම් මේ කොටස් විකුණන්නෙ නැතුව ඉඳීද කියන එක ප්‍රශ්නයක්. දවසින් දවස කොටස් මිල පහලට ඒමත් එක්ක ඇතිවෙන පීඩනය හින්ද ඊළඟ වතාවෙ කොටස් මිල ටිකක් ඉහල ගිය ගමන් විකුණන්න තියෙන ඉඩ වැඩී. නමුත් එතනදි සිද්ද වෙන පාඩුව Stop Loss එකක් තිබුනනම් වෙන පාඩුවට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ මාස 3 ඇතුලත මේ සමාගමේ කොටසක මිල රු 500 සීමාවට යන්න බැරි කමක් නෑ... මිල පහල යන්නත් ඒ වගේම අවස්ථාවක් තියෙනව.



* Stop Loss සම්බන්ද තවත් වැදගත් කාරණයක් තියෙනව. අපි 10%ක අවධානමක් බලාපොරොත්තුවෙන් රු. 10 ගනනෙ මිලදී ගන්න කොටසක් රු. 9.00 දක්වා ආවොත් විකුණනව කියල තීරණයකට ඇවිත් කොටස් මිලදී ගැනීමක් කරනව. ඊට පස්සෙ කොටස් මිල රු. 8.50 දක්වා පහල ඒමක් සිද්ධවෙලා එතන ඉඳන් ආපහු රු 12 විතර වගේ මිලකට ගියා කියල හිතමු. ඒ වෙද්දි අපේ Stop Loss පොයින්ට් එකෙන් අපි ගත්තු කොටස් ටික විකුණල ඉවරයි. කොටසකින් රු 2ක් ලාභ ලබන්න තිබුන අවස්ථාව අපිට නැතිවෙලා. ඒ වගේම කොටසකින් රුපියලක පාඩුවකුත් විදල. ‍

කොහොමද මේ ආකාරයට වෙන පාඩුවකින් ගැලවෙන්නෙ?... එහෙමත් නැත්නම් මේ ආකාරයට වෙන පාඩු අවම කරගන්නෙ?...  තම තමන්ට හිතෙන විදිහට උපක්‍රමයක් කල්පනා කරන්නකො. කැමති නම් තමන්ගෙ විසඳුම කමෙන්ටුවක් විදිහට දාල යන්න. ඊළඟ ලිපියෙන් බලමු තමන් හිතපු උපක්‍රමය සාර්ථකද කියල.
 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කොටස් වෙළඳපළ තුල මුල්‍ය කළමණාකරණය

මුලින්ම කියන්න ඕන මේ වෙනකන් මේ ලිපි පෙළ ලියාගෙන යද්දි ලියන භාෂාවෙන්ම ලිපි පෙළ ලියන් යන්න ගත්තු උත්සාහය නම් නතර කරනව. මෙතන ඉදන් සරලව ලියාගෙන යන්න තමයි අදහස. ඒ හරහ වේගය ටිකක් වැඩි කරගන්න තමයි බලාපොරොත්තුව.

කොටස් වෙළඳපළ ඇතුලෙ ආයෝජකයො පාඩු ලබන ප්‍රධාන හේතුවක් වෙන්නෙ හරි ආකාරයක මුල්‍ය කළමණාකරණයක් නැති වීම. අනෙක් කාරණය තමයි හැඟීම් මත තීරණ ගැනීම. මෙතනදි හොඳ ආකාරයක මූල්‍ය කළමණාකරණයක් තියෙනව නම් හැඟීම් මත සිද්ධ වෙන බලපෑම අඩුකරගන්න පුළුවන්...

ආයෝජකයෙක් විදිහට අපේ මූලික අරමුණ වෙන්න ඕන මොකක්ද?.... ගොඩක් දෙනෙක්ගෙ මූලික අරමුණ ලාභ ලැබීමනෙ නේද?... මූලික අරමුණ තීරණය කිරීම වැදගත් වෙන්නෙ ඒ තීරණයත් එක්ක තමයි අපේ මූල්‍ය කළමණාකරණ සැලසුම ගොඩ නැගෙන්නෙ.

මගේ අදහස නම් ලාභ ලැබීම මූලික අරමුණ කරගැනීම අපි අතින් සිද්ධවෙන වරදක්ය කියන එක. ආයෝජන සම්බන්දව මූල්‍ය කළමණාකරණයෙදි මූලික කොටස් වලදි කියන එකක් තමයි, ලාභය ගැන හිතන්න කලින් තමන්ට කොතරම් ප්‍රමාණයක් පාඩු ලබන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න කියන එක. ඒ හරහ එතන ඉඳන් අපිට හැකියාව ලැබෙනව තමන්ට සිද්ධවෙන පාඩුව අවම කරගන්න ගමන් ලාභයක් ලැබීම කියන තැන දක්වා තමන්ගෙ සැලසුම් වර්ධනය කරගන්න.

මුලින්ම පාඩුවක් ගැන හිතන්න වගේ කතාවක් කිව්වෙ ඇයි කියල හිතනව ඇති නේද?...  කොයිතරම් මුදල් ප්‍රමාණයක් පාඩු ලබන්න පුළුවන්ද කියන එක තීරණය කිරීම හරහ සිද්ද කරන්නෙ යම්කිසි  ගනුදෙනුවකදි තමන් යොදන මුදලෙන් කොයිතරම් ප්‍රමාණයක් තමන් අවධානමකට ලක් කරනවද කියල තීරණය කිරීම.

උදාහරණයක් විදිහට රු.100,000 ක් සමාගම් කොටස් වල ආයෝජනය කරන පුද්ගලයෙක් තමන්ගේ ආයෝජනයෙන් 10%ක (රු. 10,000 ක් ) අලාභයක් ලබන්න සූදානම් වීම ඉදිරිපත් කරන්න පුළුවන්. එතනදි ඒ තැනැත්ත මිලදී ගන්න රු. 100,000 ක කොටස් වල වටිනාකම රු. 90,000 දක්වා පහත වැටුනොත් එතනදි ඒ කොටස් අලාභයක් සහිතව විකිණිමට තීරණය කිරීමක් සිද්ද වෙනව. මේක හඳුන්වන්නෙ පාඩුව නැවතීමේ තැන (Stop Loss) කියන නමින්. ගොඩක් දෙනෙක් මේ Stop Loss කියන කාරණයට කැමැත්තක් නම් නෑ. ඒ වුනත් Stop Loss කියන එක කොටස් ගනුදෙනු වලදී ඉතාම වැදගත් අදහසක්.

තමන්ගෙ ආයෝජනයෙන් කොයිතරම් මුදලක් පාඩු ලබනවද කියන එක තීරණය කලාට පස්සෙ වැදගත්ම කාරණය වෙන්නෙ තමන් විදගන්න සූදානම් වුනු අලාභය අවම කරගන්න එක. කොහොමද මේක කරන්නෙ?...

අපි මුලින් ගත්තු උදාහරණයම ගත්තොත් ඒ රු.10,000 ක අවධානමක් අරගෙන තමන්ගෙ රු.100,000 ආයෝජනය කරන්න යන ආයෝජකය කොහොමද තමන් ගන්න බලාපොරොත්තු වෙන අවධානම(අලාභය) කළමණාකරනය කරගන්නෙ. බොහොම සරල විදිහට අපිට පුළුවන් මේ සම්පූර්ණ ආයෝජනය කොටස් 5කට වෙන් කරල එකිනෙක වෙනස් සමාගම් 5ක කොටස් වල ආයෝජනය කරන්න. එතනදි තමන් මුළු ආයෝජනය වෙනුවෙන් ගන්න 10%ක අවධානම බෙදීයාමක් සිද්ද වෙනව.

(1වන රූපය)
පළවෙනි උදාහරණය තමයි පළවෙනි රූපයෙන් දාල තියෙන්නෙ. රු.100,000ක් රු.10 ගානෙ වටින කොටස් 10,000ක ආයෝජනය කරන ආයෝජකයෙක් තමන්ට දරන්න පුළුවන් අවධානම, එහෙමත් නැත්තන් තමන් විඳ දරාගන්න සූදානම් අලාභය 10%ක් විදිහට තීරණය කරනව. එතනදි අදාල කොටසක මිල රු.9.00 වෙනකන් පහලට ආවොත් ඒ කොටස් විකුණනව කියල තීරණය කිරීමක් තමයි ‍සිද්ධවෙන්නෙ.  මේ අවස්තාවෙදි ඒ ආයෝජකයගෙ Stop Loss පොයන්ට් එක වෙන්නෙ රු 9.00 .

(2වන රූපය)

 දෙවනි රූපයෙන් පෙන්වල තියෙන්නෙ පළමු උදාහරණයෙ දක්වපු ආයෝජකයම ඒ තමන්ගෙ මුදල 10% අවධානමම ගන්න ගමන් ඒ අවධානම කළමණාකරනය කර ගන්න ආකාරය. මෙතනදි සම්පූර්ණ ආයෝජනය වුන රු 100,000ක මුදල කොටස් 5කට බෙදල වෙන වෙනම සමාගම් වල ආයෝජනය කිරීමක් සිද්ද වෙනව. (රූප සටහනේ විදිහට Company B, Company C.. ආකාරයට සමාගම් 5ක.)

මෙතනදි ආයෝජකය තමන් යොදවන්න බලාපොරොත්තු වෙන සම්පූර්ණ මුදලෙන් ගන්න අවධානම වුන 10% (රු10,000) කොටස් 5 කට බෙදීමක් සිද්ධවෙලා තියෙනව. සරලව කිව්වොත් එක කොටස් ගනුදෙනුවක අවධානම රු 2000ක් වුන අවස්ථා 5ක් ආයෝජකය ලබා ගන්නව. ඒ අවස්ථා 5න් 3ක් අපි තියපු Stop Loss පොයින්ට් එකට ඇවිත් පාඩුවට විකුණන්න වුනා කියල හිතමු. එතනදි පාඩුව වෙන්නෙ රු 6000ක් විතරයි. එතකොට අනිත් අවස්ථා 2 ක අපිට ලාභයක් ලබන්න පුළුවන්. මේ ආකාරයට අවධානම කළමණාකරනය කිරීම හරහ අපි අවධානමට යොදන 10% මුදලට වැඩි අවස්තාවක් දෙන්න පුළුවන් වීමක් සිද්ද වෙනව...


සමහර විට එකම දේ දෙපාරක් කියල තියෙනව කියල හිතෙන්න පුළුවන්. දෙපාරකට වැඩි වාර ගනනක් කියන්න තරමටම මුදල් කළමණාකරනය සහ STOP LOSS කියන කොටස කොටස් ගනුදෙනුවලදි වැදගත්.

හිතුවට වඩා ලිපිය ටිකක් දික් වුනා. Stop Loss එකක් නැතිවුනොත් වෙන්න පුළුවන් දෙය කොළඹ කොටස් වෙළඳපල තුල තියෙන ලැයිස්තු ගත සමාගමක කොටස් මිල ඉහල පහල ගිය ආකාරයත් එක්ක  ඊළඟ ලිපියෙන් පැහැදිලි කරල දෙන්නම්. මොකක් හරි අද කොටස පිළිඹඳව ගැටලුවක් තියෙනව නම් කමෙන්ටු දාන කොටස පාවිච්චි කරන්න පුළුවන්  :)

* New investors & traders think about how much they can make
* Professional  investors & traders think about how much they can loss.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඕඩර්ස් - Orders

පහුගිය ලිපියෙන් තැරැව්කාර සමාගමක් හරහ කොටස් වෙළඳ පළට පිවිසෙන ක්‍රමයයි, කොටස් මිලදී ගැනීම කරන්නෙ මොන විදිහටද කියන එකයි පැහැදිලි කිරීමක් සිද්ද වුන නිසා මේ පාර පොඩි , නිතර භාවිතා වෙන වචන කීපයක් ගැන විස්තර කරන්නයි හිතුවෙ.

ඒ වගේම කියන්න ඕන ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වචන භාවිතා වෙන්න පුළුවන්. ඒකට මූලික හේතු වෙන්නෙ කොටස් වෙළඳපළ ඇතුලෙ භාවිතා වෙන්නෙ ඒ වචන වීමයි, සමහර වචන වලට ගැලපෙනම සිංහල වචනය තොරගන්න මට නොහැකි වීමයි තමයි.

ගිය වතාවෙ කොටස් මිලදී ගැනීම් කරන විදිහ ගැනත් කතා කල නිසා මුලින්ම ඕඩර්ස් (Orders) ගැන කියන්නම්. ඕඩර්ස් (Orders) යනුවෙන් හඳුන්වන්නෙ අපේ කොටස් ගැනුම් විකුණුම් කරන්න ආයෝජන උප‍දේශක වරයට දෙන නියම කිරීමක්.

බයි ඕඩර් (Buy Order) :- කොටස් මිළදී ගැනීමට කරනු ලබන නියම කිරීමක්

සෙල් ඕඩර් (Sell Order)  :- කොටස් විකිණීමට කරනු ලබන නියම කිරීමක්

ඩේ ඕඩර්ස් (Day Orders) :- කොටස් මිලදී ගැනීමකට හෝ විකිණීමට අදාල, එක් දිනකට පමණක් වළංගු නියම කිරීමක්. බොහෝ වෙලාවල් වල ආයෝජකයෙක් සිදුකරන්නට බලාපොරොත්තු වන මිලදී ගැනීමකදි හෝ විකිණීමකදි සිදුවෙන්නෙ දිනකට පමණක් වලංගු ඕ‍ඩර්ස් දැමීමක්.

ෆයිව් ඩේ ඕඩර්ස් (Five Day Orders) :- මිලදී ගැනීමකදි හෝ විකිණීමකදි  මෙම නියෝග දින පහකට වළංගු වේ. ෆයිව් ඩේ ඕඩරයක් දමන්නේ නම් ඒ පිළිඹදව විශේෂයෙන් සඳහන් කලයුතුය.

ලිමිට් ඕඩර්ස් (Limit Orders) :- මිලදී ගැනීමකට හෝ විකිණීමකට අදාලව මිල නියම කිරීමක් සහිතව ඉදිරිපත් කරනු ලබන නියෝග (Orders). උදාහරණයක් ලෙස ගලධාරි හෝටලයේ කොටස් රු 31 ට මිලදී ගන්න යනුවෙන් කරනු ලබන ඕඩරයක් ඉදිරිපත් කල හැක.

මාර්කට් ඕඩර්ස් (Market Orders) :- මිලදී ගැනීමකට හෝ විකිණීමකට අදාලව මිල නියම කිරීමකින් තොරව ඉදිරිපත් කරනු ලබන නියෝග (ඕඩර්ස්). මෙහිදි සිදුවන්නේ මිලදී ගැනීමකට අදාල ඕඩරයක් නම් ඒ අවස්තාවේ කොටස් විකිණීමට කැමැත්තෙන් සිටින පුද්ගලයකු ඉදිරිපත් කරන මිලට මිලදී ගැනීමයි. කොටස් විකිණීමකදි නම් ගැනුම්කරු ඉල්ලන මුදලට විකුණා දැමීම සිදුවේ.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කොටස් වෙළඳපළ ගනුදෙනු කිරීම

දෙවන අදියරේ පළමුවන ලිපිය විදිහට අද ඉදිරිපත් කරන්න හදන්නෙ කොටස් වෙළඳපළට පිවිසෙන ආයෝජකයෙක් කොටස් වෙළඳපළ ගනුදෙනු කිරීම සිදුකරන්නෙ කොහොමද කියන එකයි. මෙතනදි ආයෝජකයෙක් විදිහට අපිට කොටස් තැරැව්කාර සමාගමක උදව්ව අවශ්‍ය වෙනව.

තැරැව්කාර සමාගම්
තැරැව්කාර සමාගමක් යනු කොටස් වෙළඳපළ සහ ආයෝජකයා සම්බන්ද කරන අතරමැදි ආයතනයකි. තැරැව්කාර සමාගමක කාර්ය භාරය වෙන්නෙ ආයෝජන උපදෙස් ලබාදෙමින් ආයෝජකයන් වෙනුවෙන් කොටස් වෙළඳපළ තුල ගනුදෙනු කිරීම සහ ආයෝජකයින් ලියාපදිංචි කරගැනීමයි.

ආයෝජකයන් වෙනුවෙන් කොටස් වෙළඳපළ තුල ගනුදෙනු සිදුකිරීම තැරැව්කාර සමාගමක කාර්යය වුනත් ආයෝජකයාගේ අනුදැනුමින් තොරව කොටස් මිලදී ගැනීමක් හෝ විකිණීමක් කිරීමට තැරැව්කාර සමාගමකට අයිතියක් නැත. 

* ආයෝජකයා ලබාගන්නා කොටස් සඳහා නියමිත දිනයට පෙර අදාල වටිනාකම ගෙවීමට අපොහොසත් වන අවස්ථාවක ඒ මුදල් ලබාගැනීම සඳහා කොටස් විකිණීමක් කිරීමට තැරැව්කාර සමාගමට අයිතිය ඇත. 

තැරැව්කාර සමාගමක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ තැරැව්කාර ගාස්තුවයි. මේ වන විට තැරැව්කාර සමාගම් 23ක් පමණ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබාගෙන ඇත.

කොටස් වෙළඳපළට පිවිසීම
මුලින්ම කිව්ව විදිහටම කොටස් වෙළඳ පළට පිවිසෙන්න අපිට තැරැව්කාර සමාගමක උදව්ව ඕන වෙනව. ආයෝජකයෙක් විදිහට මුලින්ම කරන්න තියෙන දෙය තමයි තැරැව්කාර සමාගමක් තෝරාගෙන ඒ හරහ කොළඹ කොටස් වෙළඳපළ ( CSE ) තුල ලියාපදිංචි වෙන එක. තමන්ට ගනුදෙනු කිරීමට තැරැව්කාර සමාගමක් තෝරා‍ගැනීමේදී  තමන්ගෙ අවශ්‍යතාවයන් සහ ආයෝජන අරමුණ පිළිඹඳව එහි සිටින ආයෝජන උපදේශකයකු සමඟ කතාබහ කිරීමෙන් පසුව තීරණයක් ගැනීම තරමක පහසුවක් වීමට ඉඩ තියෙනව.

මේ ආකාරයට ලියාපදිංචි වීමෙන් අනතුරුව තම තැරැව්කාර සමාගම ලබාදෙන බැංකු ගිණුමකට මුදල් බැර කිරීමෙන් කොටස් මිලදී ගැනුම් විකුණුම් කිරීමේ හැකියාව ආයෝජකයාට ලැබෙනව.

කොටස් මිළදී ගැනීම් සහ විකිණීම් කල හැකි ආකාර
කොටස් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබුනු ආයෝජකයෙකුට තමන්ගේ ගැනුම් විකුණුම්, දුරකතනය හරහා තමන්ගෙ ආයෝජන උපදේශක වරයා සම්බන්ද කරගැනීමෙන් කරන්න පුළුවන්. මෙහිදී ඉතාමත් වැදගත් කරුණු කීපයක් ආයෝජකයා තේරුම් ගත යුතුවේ.
  1. පැහැදිලිව තමන්ගේ අවශ්‍යතාවය ඉදිරිපත් කිරීම : උදාහරණයක් ලෙස ආයෝජකයෙකු මේ වන විට මිලදී ගැනීමට හොඳ කොටස් පිළිඹදව  තමන්ගේ උපදේශකවරයාගෙන් අසන්නේ නම්, තමන් හොඳ කොටස් යනුවෙන් හඳුන්වන්නේ කුමන ආකාරයේ කොටස්ද යන්න පැහැදිලි කල යුතු වෙනව. ආයෝජන උපදේශක වරයා හොඳ කොටස් ලෙස හඳුන්වා දෙන්නේහොඳ ප්‍රතිලාභයක් ලබාගැනීමට අවම මාස 03ක් පමණ කාලයක් ගතවන කොටස් යැයි සිතමු. නමුත් ආයේජකයා‍ හොඳ කොටස් ලෙස හැදීන්වූවේ සතියක පමණ කාලයකින් ප්‍රතිලාභයක් ලැබිය හැකි කොටස් පිළිඹඳව වුවහොත් ආයෝජකයාට යම් අපේක්ෂා භංගත්වයකට පත්වීමට සිදුවේ.
  2. ආයෝජන උපදේශකවරයා අනාගතය දකින්නෙක් නොවන බව: ආයෝජකයින් බොහෝමයකගේ ඇති වැරදි අදහසක් වන්නේ ආයෝජන උපදේශකයාගේ අදහස් හා තීරණ හැම විටම නිවරදි විය යුතුය යන්නයි. නමුත් එය හැම විටම එලෙස සිදුනොවේ. ආයෝජන උපදේශකයෙක් යම් සමාගමක කොටස් නිර්දේශ කිරීම හේ ඒ පිළිඹද අදහස් දක්වන්නේ ඒ ඒ අවස්තාවේ තිබෙන තත්ත්ව යටතේ බැවින් එය කාලයත් සමඟ වෙන්ස් වීමක් විය හැකිය.
  3. ආයෝජන උපදේශකවරයාට සිටින එකම සේවාදායකයා තමන් නොවන බව: එක් ආයෝජන උපදේශකවරයකුට සේවා දායකයන් ‍විශාල පිරිසක් සිටින බැවින් ඔහු සම්බන්ද කරගැනීමට ඇති දුරකතනය කාර්යබහුල වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බව ආයෝජකයා තේරුම් ගත යුතුවේ. 

*
* සාර්ථක ආයෝජකයින්ගේ උපදේශක් නම් ආයෝජන උපදේශකයන්ගේ උපදෙස් මත තම තීරණ නොගත යුතු බවයි.



තවත් කොටස් ගැනුම් විකුණුම් කල හැකි ක්‍රමයක් වන්නේ මංගත ගනුදෙනු (Online Trading) කිරීමයි. මෙහිදී ආයෝජන උපදේශක වරයා හා සම්බන්ද වීමකින් තොරව තමන්ගේ කොටස් ගැනුම් විකුණුම් සිදුකිරීම තමන්ටම සිදු කල හැකිය. මේ සඳහා තමන්ගේ තැරැව්කාර සමාගම මෙම පහසුකම සපයන තැරැව්කරුවෙකු විය යුතුය.

ගනුදෙනු සිදුවන ආකාරය පිළිඹදව තවදුරටත් ඊළඟ ලිපිය හරහා බලාපොරොත්ත වන්න. තවද මෙහි යම් තැනක ඔබට ගැටලුවක් ඇත්නම් හෝ වරදක් ඇත්නම් ඔබට එය කමෙන්ටුවක් හරහා ඉදිරිපත් කල හැකිය. 
...........................෴

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කොටස් වෙළඳ පොළ

පහුගිය ලිපියෙන් කියපු විදිහටම මේ ලිපිය හරහ කොටස් වෙළඳ පළ ගැන පොඩි හැඳින්වීමක් තමයි කරන්න සූදානම. කොටස් වෙළඳපළ කියන්නෙ මොකක්ද කියල නිර්වචනය කරන්න කලින් කොටසක් කියන්නෙ මොකක්ද කියන්නම්.

සමාගමක ප්‍රාග්ධනය සමාන පංගුවලට බෙදුවොත් ඒ එක් පංගුවකට කොටසක් කියල හඳුන්වනව. මේ කොටස් අයිතිකරුවන්ට  සමාගමේ හිමිකාරීත්වය, ලාභාංශ සඳහා අයිතිය, හිමිකම් සඳහා අයිතිය, ඉහල තනතුරු පත්කිරීමේදී ඡන්දය දීමේ අයිතිය වගේ වරප්‍රසාද ලැබෙනව.

කොටස් වෙළඳපළක් විදිහට හඳුන්වන්නෙ මිලකල සමාගම්වල (සමාගමේ ප්‍රාග්ධන වටිනාකම තක්සේරු කල සමාගම්) කොටස් විකිණීම මිළදීගැනීම සිදුකිරීම කරන ස්ථානයකට. එක් රටකට කොටස් වෙළඳපළ කීපයක් තියෙන්න හැකියාව තියෙනව. නමුත් අපේ රට ඇතුලෙ තිබෙන එකම කොටස් වෙළඳපළ කොළඹ කොටස් වෙළඳපළ පමණයි. හරි විදිහට කියනව නම් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව. ( Colombo Stock Exchange )


කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව. ( Colombo Stock Exchange )
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ලාභ ලැබීම පරමාර්ථය කරගත් ආයතනයක් නොවන අතර රාජ්‍ය ආයතනයක් වෙන්නෙත් නැහැ. නමුත් ශ්‍රී ලංකාව තුල පවතින එකම කොටස් වෙළඳපළ වීම හේතුවෙන් රජය මඟින් කොළඹ කොටස් වෙළඳපළ සඳහා මැදිහත් වීමක් ‍සිදුවෙනව. CSE (මෙතැන් සිට කොළඹ කොටස් වෙළඳපළ හඳුන්වන්නේ මෙම කෙටි නමින්) පාලනය අධ්‍යක්ෂක මන්ඩලයක් හරහ සිදුවෙනව. මෙතනදි රජයේ මුදල් ඇමතිවරය විසින් 04 දෙනෙක් පත් කරනු ලබනව. තවත් 05 දෙනෙක් පත් කරන්නෙ කොටස් තැරැව්කාර සමාගම් මඟින්.

 කොටස් වෙළඳපළ ප්‍රධාන කාර්යභාරය වෙන්නෙ සමාගම් සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට අවශ්‍ය ඉඩකඩ සැපයීම සහ ජනතාවට තමන්ගෙ ඉතිරි කිරීම් ඵලදායී ආයෝජන බවට පත්කරගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය ඉ‍ටුකිරීමයි.


සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ( Securities and Exchange Commission - SEC )
සාධාරණ වෙළඳපළක් ඇතිකිරීම සහ පවත්වාගෙන යාම, ආයෝජකයන් ආරක්ෂා කිරීම, සුරැකුම් පත් වෙළඳපළ විධිමත් කිරීම, වෘත්තීම ප්‍රමිති පවත්වාගෙන යන බව සහතික කිරීම, වන්දි අරමුදලක් පවත්වාගෙන යාම වැනි කටයුතු මෙම කොමිෂන් සභාවේ අරමුණු වෙනව....

ඒ වගේම බලපත්‍ර ලබාදීම, වෙළඳපළ අධීක්ෂණය, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, දඩුවම් පැමිනවීම හා ගනුදෙනු අත්හිටුවීම SEC එකට තියෙන ප්‍රධාන බලතල වෙනව.


මධ්‍යම තැන්පතු ක්‍රමය ( CDS )
කොටස් වෙළඳපළට පිවිසෙන ආයෝජකයෙක් මධ්‍යම තැන්පතු ක්‍රමය තුල තමන්ගෙ ගිණුමක් ආරම්භ කල යුතු වෙනව. මෙම මධ්‍යම තැන්පතු ගිණුම තුල ආයෝජකයකු විසින් මිලදීගන්නා කොටස් තැන්පත් වෙනු ලබනව. මධ්‍යම තැන්පතු ක්‍රමයේ ප්‍රධාන කාර්යය වෙන්නෙ භාරකරුවෙකු විදිහටත් ආරක්ෂකයෙකු ලෙසටත් කටයුතු කිරීමයි.


මිල දර්ශක
සමාගම් කොටස් වල මිල වෙනස් වීම මැන බලනනේ මිල දර්ශක වලිනි. කොළඹ කොටස් වෙළඳපළ තුල වැඩි වශයෙන් භාවිතා වල දර්ශක දෙක වන්නේ සියලු කොටස් මිල දර්ශකය සහ මිලංක මිල දර්ශකය වේ.

සියලු කොටස් මිල දර්ශකය ගණනය කරනු ලබන්නේ වර්තමාන වෙළඳපළ ප්‍රාග්ධනීකරණය, පාදක වර්ෂයේ වෙළඳපළ ප්‍රාග්ධනීකරණයෙන් බෙදා 100න් වැඩි කිරීම මගින්. මෙහිදී පාදක වර්ෂය ලෙස ගනු ලබන්නේ 1985 යි.

මිලංකා මිල දර්ශකය  වර්තමාන වෙළඳපළ ප්‍රාග්ධනීකරණය, පාදක වර්ෂයේ වෙළඳපළ ප්‍රාග්ධනීකරණයෙන් බෙදා 1000න් වැඩිකිරීම මඟින් ගණනය කරනු ලබයි. මිලංකා මිල දර්ෂකය සඳහා පාදක වර්ෂය ලෙස ගනු ලබන්නේ 1998 යි.
* මිලංකා මිල දර්ශකය ගණනය කිරීමේදී ‍ ‍යොදාගන්නේ තෝරාගත් සමාගම් 25ක් පමණි 

තවද කොටස් වෙළඳපළ තුල ක්ෂේත්‍ර 20ක් යටතේ සමාගම් ලැයිස්තු ගතවී ඇති අතර මේ එක් එක් ක්ෂේත්‍රය සඳහා වෙන වෙනම දර්ශක ගණනය කරනු ලබයි. මේ දර්ශක ආංශික දර්ෂක ලෙස හඳුන්වයි.
මෙම ලිපිය සමඟින් මූලික හැඳින්වීමේ ලිපි පෙළ අවසන් කරන අතර අදින් පසුව මෙම බ්ලොගය ආරම්භ කල මූලික අරමුණක් වූ කොටස් පිළිඹදව තොරතුරු ඉදිරිපත් කිරීම හා  ගනුදෙනු කරන ආකාරය පිළඹදව තොරතුරු ඉදිරිපත්වේ.  තැරැව්කාර සමාගම් පිළිඹඳ හැඳින්වීමක් නොකලත් මීළඟ ලිපි පෙළ තුලදී ඒ ගැන සඳහන් කිරීම සිදුවෙනු ඇති. තව තවත් මූලික කරුණු දැන ගැනීමට කැමති යම් අයෙක් වේ නම් www.cse.lk යන කොළඹ කොටස් වෙළඳපළ නිල වෙබ් අඩවියෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය. එමෙන්ම යම් ප්‍රශ්නයක් ඇත්නම්  එය කමෙන්ටුවක් ලෙසට ඉදිරිපත් කළහොත් ඔබට අවශ්‍ය තොරතුරු මාගේ දැනුමේ තරමින් ලබාදිය හැක.

මීලඟ ලිපි පෙළින් සමාගම් කොටස් පිළිඹඳව සහ වෙළඳපළ ගනුදෙනු වඩාත් ලාභදායී  සහ සැලසුම් සහගත ආකාරයට කරගන්නේ කෙසේද යන්න කතාබහ කරමු.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ආයෝජන පියවර

පහුගිය ලිපිය අවසන් වුනේ ආයෝජන පියවර කියන මාතෘකාව යටතේ ආයෝජනයකට අවශ්‍ය මූලික පසුබිම සැකසීම කියන කොටස විස්තර කිරීමේන්. කවුරුන් හෝ කෙනෙකුට ඒ ලිපිය මඟඇරීමක් සිද්ධ වුනා නම් මුලින්ම ආයෝජන වර්ග සහ ආයෝජන පියවර  මාතෘකාව ය‍ටතේ පළවුනු ඒ ලිපිය කියවීම යම් ආකාරයක උදව්වක් වනු ඇති.

2) ආයෝජන පියවර - ආයෝජන අරමුණු ස්ථාපිත කිරීම : ආයෝජනයක අරමුණ ලාභ ලැබීම වුනත් මෙතනදි අදහස් වෙන්නෙ තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය පිළිඹඳව යම් ඉලක්කයක් තැබීම. උදාහරණයක් විදිහට, යම්කිසි පුද්ගලයෙක් තමන් යොදවන මුදලට මාස 06ක කාලයක් තුල 20%ක් වන ලාභ ප්‍රතිශතයක ඉලක්කයක් තැබීම ආයෝජන අරමුණ ස්ථාපික කිරීමක් ලෙසට හඳුන්වන්න පුළුවන්. මෙහිදී අදාල ඉලක්කය සපුරාගැනීමට සැලසුම් කරන කාලය වැනි විස්තරාත්මක සාධක සහිතව ආයෝජන අරමුණු ස්ථාපිත කිරීම ඉතාමත් වැදගත් කාරණයක්. 

3) ආයෝජන සැලැස්ම නිර්මාණය කිරීම : මෙම පියවර තුලදි සිදුවෙන්නෙ ස්ථාපිත කරන ලද ආයෝජන අරමුණු ඉෂ්ඨ කරගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමක්. මෙතනදි තමන්ට ගැලපෙන සැලැස්මක් නිර්මාණය කරගැනීම ඉතාමත් වැදගත් දෙයක්. වෙනත් කෙනෙකුන්ගෙ සැලැස්මක් තමන්ගේ සැලැස්ම බවට පත්කරගැනීම කිසිම ආකාරයකින් අනුමත කල නොහැකියි. හේතුව පැහැදිලි කරගන්නව නම්, යම් පුද්ගලයෙකු භාවිතා කරන සැලැස්ම ඒ පුද්ගලයාගේ අරමුණ, වයස, මානසික තත්ත්වය, දැනුම, දරන වගකීම් ප්‍රමාණය වැනි සාධක මත වෙනස් වීම හේතුවෙන් දෙදෙනෙකුට එකම සැලැස්ම ගැලපීම සිදු නොවෙන දෙයක්.

4) ආයෝජන විකල්ප ඇගයීම : ආයෝජන විකල්ප යනුවෙන් හැඳින්වෙන්නෙ තමන් ආයෝජනය කිරීමට සිතා සිටින මුදල ආයෝජනය කල හැකි ක්‍රම පිළිඹඳ පොඩි විශ්ලේෂණයක් කිරීම. යම්කිසි පුද්ගලයෙක් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවක් තිබුණු තරමින් කොටස් මිලදී ගැනීමක් කළයුතු නැහැ. තමන්ගේ ආයෝජන සැලැස්මට අනුව යම් කෙනෙක්ට කොටස් වලත්, තවත් කෙනෙකුට භාණ්ඩාගාර බිල්පත් වලත්, තවත් කෙනෙකුට දේපල වෙළඳාම් අංශයෙත් ආකාරයට වෙනත් වෙනත් ආයෝජන ක්‍රම වෙත යොමුවිය හැකියි. මෙලෙස තමන් මුදල් ආයෝජනය කරණු ලබන අංශය තෝරාගැනීම ආයෝජන විකල්ප ඇගයීම යටතේ සිදු කරනු ලැබිය යුතු වෙනව.

5) වඩා හොඳ ආයෝජන අවස්ථා හඳුනාගැනීම : මෙහිදී සිදුවන්නේ තමන් තොරාගත් ආයෝජන ක්‍රමය තුල ඇති ඉතාමත් හොඳ අවස්ථාවක් හඳුනාගැනීමයි.

6) ආයෝජන කළඹ තීරණය කිරීම සහ කළමණාකරණය කිරීම : ආයෝජන කළඹක් ලෙසට හඳුන්වන්නෙ යම්කිසි පුද්ග‍ලයෙක් කොටස් වෙළඳ පොළ තුල තමන් ආයෝජනය ‍කරනු ලබන කොටස් වල එකතුවකට. Portfolio එක යනුවෙන් හඳුන්වන්නෙත් මේකම තමයි. හොඳ ආයෝජන කළඹක තිබිය යුතු ගුණාංග හඳුන්වා දීමක් කිරීම නොකල හැකි වැඩක්. හේතුව කලින් 03 වන පියවරේදී කියූ ආකාරයට එක් එක් පුද්ගලයාගේ ආයෝජන සැලැස්ම වෙනස් වීමයි.

ආයෝජන කළඹ කළමණාකරණය තුලදී සිදුකරනු ලබන්නේ වත්මන් ආයෝජන කළඹට තවත් කොටස් එකතු කරගැනීම, අදාල අවස්ථාවල තමන් සතුව තිබෙන කොටස් විකිණීම වගේම ආයෝජන කළඹ තුල එක් එක් කොටස් වලට ලබාදෙන අවස්ථාව පාලනය කිරීමයි.


අංක 03 යටතේ කියූ ආයෝජන සැලැස්ම නිර්මාණය කොටස තුල තවත් සම්පූර්ණ ලිපියකට ගොනු කල හැකි තරමේ කරුණු තිබුනද අත්‍යවශ්‍ය සාරාංශය පමණක් ඉදිරිපත් කරනු ලැබුවේ මූලික කොටස් කිහිපයට අදාල ලිපි ඉක්මනින් සම්පූර්ණ කිරීම අරමුණ බැවිනි. එබැවින් යම් තැනක නොපැහැදිලි බවක් ඇත්නම් ඒ ගැන දැනුම් දීම ඉදිරි ලිපි වලට උපකාරයක් වනු ඇත. මෙම ලිපියෙන් ආයෝජනය පිළිඹඳ සිදු කරනු ලැබූ හැඳින්වීම අවසන් වන අතර කොටස් වෙළඳ පළ පිළිඹද ලිපි පෙළේ ආරම්භයත් සමඟ නැවත මුණ ගැසෙමු.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS