ආයෝජන වර්ග සහ ආයෝජන පියවර

කලින් ලිපියෙන් ආයෝජන ගැන පොඩි හැඳින්වීමක් ඉදිරිපත් කෙරුණනෙ. ඒක කියවපු නැති කට්ටිය මුලින්ම ඒක කියවල ඉන්න එක හොඳ වෙයි. මේ තියෙන්නෙ ඒ ලිපිය ඉතිරි කිරීම් සහ ආයෝජන. ඊළඟ කොටස විදිහට මුලින්ම කතාකරන්න යන්නෙ ආයෝජන වර්ග පිළිඹඳව.

ආයෝජන වර්ග/මාර්ග කියන කොටස පැති කීපයකට ගෙනියන්න පුළුවන් වුනත් මූලිකවම මේ බ්ලොග් අඩවියෙ අරමුණ කොටස් වෙළඳපළ සහ කොටස් ගැන කතා කිරීම නිසා මෙතනදි කතාකරන්නෙ කාලය කියන සාධකය මත ආයෝජන බෙදෙන ආකාරය.


  1. මධ්‍ය කාලීන ආයෝජන : සාමාන්‍යයෙන් උපරිමය අවුරුද්දකට සීමාවුන ආයෝජන මේ කොටසට අයිති වෙනව. නමුත්, බොහෝ වෙලාවල් වලදි මාස 03 - 06 අතර කාල රාමුවක් ඇතුලෙ  තමයි මධ්‍ය කාලීන ආයෝජන දකින්න ලැබෙන්නෙ.
  2. දීර්ඝ කාලීන ආයෝජන : මේ කොටසට වැටෙන්නෙ අවුරුද්දකට වැඩි කාලයක් සඳහා කරන ආයෝජන. මෙවැනි ආයෝජන වලදී කෙටි කාලීනව කොටස් මිල ඉහල පහල යාම් නොසලකා හැරීමක් සිද්ධවෙනව. මේ නිසා අනවශ්‍ය ආකාරයේ ආතතියක් ආයෝජකයා තුල ඇතිවීම වැල‍කී යනව.
  3. කෙටි කාලීන ආයෝජන:  ප්‍රශ්නයක් ඇති කෙටි කා‍ලීන ආයෝජන ඇයි මුලින් නොදා අන්තිමට දැම්මෙ කියල. කෙටි කාලීන ආයෝජනයක් කියන්නෙ උපරිම මාසයක කාලයක් සඳහා කරන ආයෝජන. ‍බොහෝ වෙලාවල් වලදි ඉතාමත් ඉක්මන් ගනුදෙනු තමයි සිද්ධ වෙන්නෙ. ඒ නිසාම වැඩිදෙනෙක් මෙවැනි ගනුදෙනුවලට ආයෝජන කියන නම දෙන්න අකමැත්තක් තියෙනව.

ආයෝජන පියවර
මොනවද මේ ආයේජන පියවර කියන්නෙ?... සරල උදාහරණයක් ගත්තොත්,  පවුලේ සාමාජික සාමාජිකාවක් සමඟ යන විනෝද චාරිකාවක්. නිවාඩු දිනයක් හෝ දින කීපයක් තෝරාගැනීම, යන ස්ථානය, ප්‍රවාහන මාධ්‍ය තීරණය කිරීම වගේ පියවර කීපයක් මූලිකව කරන්න සිද්ධ වෙනව. ආයෝජනයත් මේ වගේම තමයි.  ආයෝජනයක් සිද්ධ කරන්නෙ යම් දෙයක් ලබාගන්න නම් ඒ සඳහා මූලික පියවර කීපයක් අනුගමනය කරන්න සිද්ධ වෙනව. 

1) ආයෝජනයකට අවශ්‍ය මූලික පසුබිම සැකසීම : යම්කිසි පුද්ග‍ලයෙක්ට ලැබෙන මුදලක්  තමන්ට මුදල් අවශ්‍ය තවත් මාසයකින් වුන නිසාම  මාසයක කාලයකට ආයෝජනය කරන්න යෑම බොහොම අවධානම් සහගත ක්‍රියාවක් වෙනව. ඒ නිසා තමන්ට දැරිය හැකි මුදලක් ආයෝජනය කිරීම සෑහෙන වැදගත් කාරණයක්. දැරිය හැකි මුදලක් කියන එකෙන් අදහස් වෙන්නෙ අඩුම තරමින් මාස 06ක කාලයක් වත් එම මුදල් පරිභෝජනයට නොගෙන ඉඳීමේ හැකියාවක් ඇති මුදලක් කියන එක. ආයෝජනයට මුදලක් සොයා ගැනීමයි, දැරිය හැකි මුදලක් සොයාගැනීමයි කියන්නෙ එකිනෙකට වෙනස් කාරණා දෙකක් නිසාවෙන් ආයෝජනයකට අවශ්‍ය මූලික පසුබිම සකස් කිරීම කියන්නෙ ආයෝජනයට අවශ්‍ය කරන මුදලක් සොයා ගැනීමම නොවෙයි. 
බාල්දියකට වතුර පිරෙව්වට වැඩක් නැහැනෙ බාල්දිය හිල් වෙලා නම්. මූලික පසුබිම සැකසීමෙදි තවත් වැදගත් කාරණයක් ‍තමයි මේ සිදුරු වහන එක. පැහැදිලි කරල කියනව නම් අපි මුදලක් ආයෝජනය කරන්න යන්නෙ මාසිකව ආදායමින් සෑහෙන කොටසක් පොළී විදහට වියදම් කරන අතරතුරේ නම් ඒ මුදල ආයෝජනය කිරීමට වඩා පොළී වියදම් නැති කරගැනීම හෝ අඩු කරගැනීම සෑහෙන වටින කාරණයක්. උදාහරණයක් විදිහට ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) වල තියෙන ණය ප්‍රමාණය අඩු කිරීම හෝ පියවීම ආයෝජනයට වඩා වැදගත් තැනක් ගන්නව.

මේ වෙද්දි මූලික පසුබිම සැකසීම කියන කාරණය පිළිඹඳව පොඩි වැටහීමක් ඇති කියල හිතනව. හිතපු තරමට වඩා ලිපිය දිග වැඩි වුන නිසා අදට මෙතනින් නවත්වනව.


ආයෝජන පියවර යටතේ ආයෝජන අරමුණු ස්ථාපිත කිරීම, ආයෝජන සැලැස්ම නිර්මාණය කිරීම,  අයෝජන විකල්ප ඇගයීම,  ආයෝජන කළඹ තීරණය කිරීම,  ආයෝජන කළඹ කළමණාකරණය කිරීම කියන කොටස්  ඊළඟ ලිපියෙන්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඉතිරි කිරීම් සහ ආයෝජන

කලින් ලිපියෙන් පුංචි හැඳින්වීමක් කරපු නිසා මේ ලිපිය හරහා ඉතිරි කිරීම් සහ ආයෝජන ගැන පොඩි සටහනක් තියන්නයි කල්පනා කලේ. වැඩිපුරම ආයෝජන ගැන.  සාමාන්‍යයෙන් අද ජීවත්වෙන ඕනම මනුස්සයෙක්ට මූල්‍ය සැළසුම් කියල එකක් තියෙනවනෙ. කවුරු හරි එහෙම නැහැ කියල කියනව නම් ඒක ලොකු ප්‍රශ්නයක්. අඩුම තරමින් හෙට උදේ රස්සාවට යන්න බස්ගාස්තු ගෙවන එක ගැනවත් සැලසුමක් තියෙනවනෙ.

මූල්‍ය සැලසුමක් ඕන කරන්නෙ ඇයි?... සරලවම උත්තර දුන්නොත් අදට වඩා හොඳ අනාගතයක් වෙනුවෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න. ඔතනදි අනාගත ආර්ථිකය ශක්තිමත් කරගන්න කරන සාමාන්‍ය දේ තමයි ඉතිරි කිරීම. ඒ ඉතිරි කිරීම් සාමාන්‍ය ඉතුරුම් තැන්පතු ආකාරයට, එහෙමත් නැත්නම් ස්ථාවර තැන්පත් විදිහට තමයි දකින්න ලැබෙන්නෙ. මෙතනදි ඒ ඒ මූල්‍ය ආයතන වලින් ලබාදෙන පොළිය අමතර ආදායමක් බවට පත්වෙනව.

ඉතිරි කිරීම් විතරක් ඇතිද?... මම නම් හිතන්නෙ ඉතිරි කිරීම් විතරක් මදි කියල. හොඳම උදාහරණය මීට අවුරුදු 2 - 3කට විතර කලින් මූල්‍ය ආයතන වලින් ඉතිරි කිරීම් වලට ලබාදුන් පොළී අනුපාතය දැන් සෑහෙන ප්‍රමාණයකින් අඩුවෙලා තිබීම නිසා ඒ දිනවල ලැබුන පොළී ආදායම අද නොලැබෙන තත්ත්වයකට පත්වීම. අනෙක් කාරණය පවතින ආර්ථික වාතාවරණයත් එක්ක රු 100 ක ඉතිරි කිරීමක වටිනාකම, රු 100කට ලබාගන්න පුළුවන් කම තිබුනු යම් භාණ්ඩයක් හෝ සේවාවක් එක්ක අවුරුද්දකට පසුව සංසන්දනය කරන විට අඩුව තිබීම...

එච්චරම ගැඹුරට නොහිත ආගමානුකූලව බැලුවත් බුදුරජානන් වහන්සේත් දේශනා කරල තියෙන්නෙ ආදයමෙන් 1/4 ක් ඉතුරු කරන්න. 1/4 ක් ප්‍රයෝජනයට ගන්න. 1/2 ක් ආයෝජනය කරන්න කියන එක.

ආයෝජනයක් කියන්නෙ මොකක්ද?... සරලවම බලනවනම් ආයෝජනයක් කියන්නෙ යම්කිසි ලාභයක් බලාපොරොත්තුවෙන් මුදල් හෝ ශ්‍රමය යෙදවීම. ආයෝජන කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනව. තමන්ගෙම පොඩි ව්‍යාපාරයක් ආරම්භ කිරීම, වෙනත් කෙනෙකුගෙ ව්‍යාපාරයකට මුදල් යොදවල ලාභයෙන් කොටසක් ගැනීම කියන්නෙත් ආයෝජන කරන්න පුළුවන් ක්‍රම වලට උදාහරණ. ආයෝජනය කියන්නෙ මොකක්ද කියල තව දුරටත් විස්තර ඇතුව අවශ්‍යනම් කියවන්න හොඳ ලිපියක් තමයි "ආයෝජනය" යනු කුමක්ද? 

ආයෝජනයක් කියන්නෙ මොකක්ද කියන තැනදි කිව්වනෙ ලාබයක් බලාපොරොත්තුවෙන් මුදල් යෙදවීමක් කියල. (මෙතන ඉඳන් කතාකරන්නෙ මුදල් ආයෝජනය ගැන විතරයි.) ඔය බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න කරන්න ඕන දේවල් මොනවද?
  • මූලිකවම අපි ආයෝජනය කරන මුදල (ප්‍රාග්ධනය) ආරක්ෂා කරගන්න ඕනනෙ. ආයෝජනයකදි ලාබ ලැබීම බලාපොරොත්තුවක් වුනාට යම් යම් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඉතිං පාඩුවක් වීමේ අවධානම අඩුකරගන්න එක ඕනම ආයෝජනයකදි බොහොම වැදගත්.
  • ඒ වගේම තමයි ප්‍රාග්ධනය වැඩිකර ගැනීම. මෙතනදි අදහස් වෙන්නෙ මූලිකව යොදවපු ප්‍රාග්ධනය හරහ ලබන ලාභයෙන් කොටසක්වත් තමන් මූලිකව යොදවපු මුදලට එකතු කිරීමක්. ඒත් එක්කම අවධානම දැරීමේ හැකියාව වර්ධනය කරගැනීමත් සෑහෙන වැදගත්.

මුල් කොටස් කීපය ඉක්මනටම ඉවර කරන්න සමහර කොටස් ගැන වැඩි විස්තරයක් ඉදිරිපත් කිරීමක් සිද්ධ නොවුන එක කණගාටුයි... මොකක්ම හරි ගැටලුවක් තියෙනව නම් කමෙන්ටුවක් හරහ ඉදිරිපත් කරන්න. පුළුවන් උපරිමයෙන් උත්තර ලබාදෙන්නම්.

ඊළඟ ලිපිය හරහ ආයෝජන වර්ග, ආයෝජන උපාය සංවර්ධනය වගේ පොඩි මාතෘකා ටිකක් ගැන සටහනක් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තුව.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

colombostockmarket.blogspot.com

මූලිකව colombostockmarket.blogspot.com ගැන පුංචි හැඳින්වීමක් කරනවා නම්, මේ බ්ලොග් අඩවියේ මූලික අරමුණ කොළඹ කොටස් වෙළඳපළ ගැන හැකි තරම් තොරතුරු ප්‍රමාණයක් එක තැනකින් ලබාදීමය. මෙතනදි කොළඹ කොටස් වෙළඳපළ වත්මන් හැසිරීම සහ ලැයිස්තුගත සමාගම් වල මිල වෙනස් විය හැකි ආකාර ගැන මගේ දැනුමේ තරමින් ඉදිරිපත් කිරීමක් සිද්ධ කිරීමට බලාපොරොත්තුව වේ.

එලෙසම  ව්‍යාපාරවල ලාභාංශ, හිමිකම් දීමනා සහ ඒ ඒ ලැයිස්තුගත සමාගම් මගින් නිකුත් කරන නිවේදන වැනි වැදගත් දේ ලබාදීමද, කොළඹ කොටස් වෙළඳපළ හා බැඳි වෙනත් තොරතුරු සහ යම් තරමකින් මූලික දැනුමක් ලබාදීමද මෙහි තවත් එක් අරමුණකි.

හැඳින්වීමක් ලෙස පළකරන මෙම  ලිපිය තව දුරටත් දීර්ඝ නොකරන අතර මෙම බ්ලොග් අඩවිය කියවන වැඩි දෙනාට ප්‍රයෝජනයක් ඇතිවන ආකාරයේ ලිපියක් සමඟ නැවත මුනගැසීමේ බලාපොරොත්තුවෙන් සමුගනිමි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS