කොටස් වෙළඳපළ ගනුදෙනු කිරීම

දෙවන අදියරේ පළමුවන ලිපිය විදිහට අද ඉදිරිපත් කරන්න හදන්නෙ කොටස් වෙළඳපළට පිවිසෙන ආයෝජකයෙක් කොටස් වෙළඳපළ ගනුදෙනු කිරීම සිදුකරන්නෙ කොහොමද කියන එකයි. මෙතනදි ආයෝජකයෙක් විදිහට අපිට කොටස් තැරැව්කාර සමාගමක උදව්ව අවශ්‍ය වෙනව.

තැරැව්කාර සමාගම්
තැරැව්කාර සමාගමක් යනු කොටස් වෙළඳපළ සහ ආයෝජකයා සම්බන්ද කරන අතරමැදි ආයතනයකි. තැරැව්කාර සමාගමක කාර්ය භාරය වෙන්නෙ ආයෝජන උපදෙස් ලබාදෙමින් ආයෝජකයන් වෙනුවෙන් කොටස් වෙළඳපළ තුල ගනුදෙනු කිරීම සහ ආයෝජකයින් ලියාපදිංචි කරගැනීමයි.

ආයෝජකයන් වෙනුවෙන් කොටස් වෙළඳපළ තුල ගනුදෙනු සිදුකිරීම තැරැව්කාර සමාගමක කාර්යය වුනත් ආයෝජකයාගේ අනුදැනුමින් තොරව කොටස් මිලදී ගැනීමක් හෝ විකිණීමක් කිරීමට තැරැව්කාර සමාගමකට අයිතියක් නැත. 

* ආයෝජකයා ලබාගන්නා කොටස් සඳහා නියමිත දිනයට පෙර අදාල වටිනාකම ගෙවීමට අපොහොසත් වන අවස්ථාවක ඒ මුදල් ලබාගැනීම සඳහා කොටස් විකිණීමක් කිරීමට තැරැව්කාර සමාගමට අයිතිය ඇත. 

තැරැව්කාර සමාගමක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ තැරැව්කාර ගාස්තුවයි. මේ වන විට තැරැව්කාර සමාගම් 23ක් පමණ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබාගෙන ඇත.

කොටස් වෙළඳපළට පිවිසීම
මුලින්ම කිව්ව විදිහටම කොටස් වෙළඳ පළට පිවිසෙන්න අපිට තැරැව්කාර සමාගමක උදව්ව ඕන වෙනව. ආයෝජකයෙක් විදිහට මුලින්ම කරන්න තියෙන දෙය තමයි තැරැව්කාර සමාගමක් තෝරාගෙන ඒ හරහ කොළඹ කොටස් වෙළඳපළ ( CSE ) තුල ලියාපදිංචි වෙන එක. තමන්ට ගනුදෙනු කිරීමට තැරැව්කාර සමාගමක් තෝරා‍ගැනීමේදී  තමන්ගෙ අවශ්‍යතාවයන් සහ ආයෝජන අරමුණ පිළිඹඳව එහි සිටින ආයෝජන උපදේශකයකු සමඟ කතාබහ කිරීමෙන් පසුව තීරණයක් ගැනීම තරමක පහසුවක් වීමට ඉඩ තියෙනව.

මේ ආකාරයට ලියාපදිංචි වීමෙන් අනතුරුව තම තැරැව්කාර සමාගම ලබාදෙන බැංකු ගිණුමකට මුදල් බැර කිරීමෙන් කොටස් මිලදී ගැනුම් විකුණුම් කිරීමේ හැකියාව ආයෝජකයාට ලැබෙනව.

කොටස් මිළදී ගැනීම් සහ විකිණීම් කල හැකි ආකාර
කොටස් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබුනු ආයෝජකයෙකුට තමන්ගේ ගැනුම් විකුණුම්, දුරකතනය හරහා තමන්ගෙ ආයෝජන උපදේශක වරයා සම්බන්ද කරගැනීමෙන් කරන්න පුළුවන්. මෙහිදී ඉතාමත් වැදගත් කරුණු කීපයක් ආයෝජකයා තේරුම් ගත යුතුවේ.
  1. පැහැදිලිව තමන්ගේ අවශ්‍යතාවය ඉදිරිපත් කිරීම : උදාහරණයක් ලෙස ආයෝජකයෙකු මේ වන විට මිලදී ගැනීමට හොඳ කොටස් පිළිඹදව  තමන්ගේ උපදේශකවරයාගෙන් අසන්නේ නම්, තමන් හොඳ කොටස් යනුවෙන් හඳුන්වන්නේ කුමන ආකාරයේ කොටස්ද යන්න පැහැදිලි කල යුතු වෙනව. ආයෝජන උපදේශක වරයා හොඳ කොටස් ලෙස හඳුන්වා දෙන්නේහොඳ ප්‍රතිලාභයක් ලබාගැනීමට අවම මාස 03ක් පමණ කාලයක් ගතවන කොටස් යැයි සිතමු. නමුත් ආයේජකයා‍ හොඳ කොටස් ලෙස හැදීන්වූවේ සතියක පමණ කාලයකින් ප්‍රතිලාභයක් ලැබිය හැකි කොටස් පිළිඹඳව වුවහොත් ආයෝජකයාට යම් අපේක්ෂා භංගත්වයකට පත්වීමට සිදුවේ.
  2. ආයෝජන උපදේශකවරයා අනාගතය දකින්නෙක් නොවන බව: ආයෝජකයින් බොහෝමයකගේ ඇති වැරදි අදහසක් වන්නේ ආයෝජන උපදේශකයාගේ අදහස් හා තීරණ හැම විටම නිවරදි විය යුතුය යන්නයි. නමුත් එය හැම විටම එලෙස සිදුනොවේ. ආයෝජන උපදේශකයෙක් යම් සමාගමක කොටස් නිර්දේශ කිරීම හේ ඒ පිළිඹද අදහස් දක්වන්නේ ඒ ඒ අවස්තාවේ තිබෙන තත්ත්ව යටතේ බැවින් එය කාලයත් සමඟ වෙන්ස් වීමක් විය හැකිය.
  3. ආයෝජන උපදේශකවරයාට සිටින එකම සේවාදායකයා තමන් නොවන බව: එක් ආයෝජන උපදේශකවරයකුට සේවා දායකයන් ‍විශාල පිරිසක් සිටින බැවින් ඔහු සම්බන්ද කරගැනීමට ඇති දුරකතනය කාර්යබහුල වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බව ආයෝජකයා තේරුම් ගත යුතුවේ. 

*
* සාර්ථක ආයෝජකයින්ගේ උපදේශක් නම් ආයෝජන උපදේශකයන්ගේ උපදෙස් මත තම තීරණ නොගත යුතු බවයි.



තවත් කොටස් ගැනුම් විකුණුම් කල හැකි ක්‍රමයක් වන්නේ මංගත ගනුදෙනු (Online Trading) කිරීමයි. මෙහිදී ආයෝජන උපදේශක වරයා හා සම්බන්ද වීමකින් තොරව තමන්ගේ කොටස් ගැනුම් විකුණුම් සිදුකිරීම තමන්ටම සිදු කල හැකිය. මේ සඳහා තමන්ගේ තැරැව්කාර සමාගම මෙම පහසුකම සපයන තැරැව්කරුවෙකු විය යුතුය.

ගනුදෙනු සිදුවන ආකාරය පිළිඹදව තවදුරටත් ඊළඟ ලිපිය හරහා බලාපොරොත්ත වන්න. තවද මෙහි යම් තැනක ඔබට ගැටලුවක් ඇත්නම් හෝ වරදක් ඇත්නම් ඔබට එය කමෙන්ටුවක් හරහා ඉදිරිපත් කල හැකිය. 
...........................෴

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කොටස් වෙළඳ පොළ

පහුගිය ලිපියෙන් කියපු විදිහටම මේ ලිපිය හරහ කොටස් වෙළඳ පළ ගැන පොඩි හැඳින්වීමක් තමයි කරන්න සූදානම. කොටස් වෙළඳපළ කියන්නෙ මොකක්ද කියල නිර්වචනය කරන්න කලින් කොටසක් කියන්නෙ මොකක්ද කියන්නම්.

සමාගමක ප්‍රාග්ධනය සමාන පංගුවලට බෙදුවොත් ඒ එක් පංගුවකට කොටසක් කියල හඳුන්වනව. මේ කොටස් අයිතිකරුවන්ට  සමාගමේ හිමිකාරීත්වය, ලාභාංශ සඳහා අයිතිය, හිමිකම් සඳහා අයිතිය, ඉහල තනතුරු පත්කිරීමේදී ඡන්දය දීමේ අයිතිය වගේ වරප්‍රසාද ලැබෙනව.

කොටස් වෙළඳපළක් විදිහට හඳුන්වන්නෙ මිලකල සමාගම්වල (සමාගමේ ප්‍රාග්ධන වටිනාකම තක්සේරු කල සමාගම්) කොටස් විකිණීම මිළදීගැනීම සිදුකිරීම කරන ස්ථානයකට. එක් රටකට කොටස් වෙළඳපළ කීපයක් තියෙන්න හැකියාව තියෙනව. නමුත් අපේ රට ඇතුලෙ තිබෙන එකම කොටස් වෙළඳපළ කොළඹ කොටස් වෙළඳපළ පමණයි. හරි විදිහට කියනව නම් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව. ( Colombo Stock Exchange )


කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව. ( Colombo Stock Exchange )
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ලාභ ලැබීම පරමාර්ථය කරගත් ආයතනයක් නොවන අතර රාජ්‍ය ආයතනයක් වෙන්නෙත් නැහැ. නමුත් ශ්‍රී ලංකාව තුල පවතින එකම කොටස් වෙළඳපළ වීම හේතුවෙන් රජය මඟින් කොළඹ කොටස් වෙළඳපළ සඳහා මැදිහත් වීමක් ‍සිදුවෙනව. CSE (මෙතැන් සිට කොළඹ කොටස් වෙළඳපළ හඳුන්වන්නේ මෙම කෙටි නමින්) පාලනය අධ්‍යක්ෂක මන්ඩලයක් හරහ සිදුවෙනව. මෙතනදි රජයේ මුදල් ඇමතිවරය විසින් 04 දෙනෙක් පත් කරනු ලබනව. තවත් 05 දෙනෙක් පත් කරන්නෙ කොටස් තැරැව්කාර සමාගම් මඟින්.

 කොටස් වෙළඳපළ ප්‍රධාන කාර්යභාරය වෙන්නෙ සමාගම් සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට අවශ්‍ය ඉඩකඩ සැපයීම සහ ජනතාවට තමන්ගෙ ඉතිරි කිරීම් ඵලදායී ආයෝජන බවට පත්කරගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය ඉ‍ටුකිරීමයි.


සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ( Securities and Exchange Commission - SEC )
සාධාරණ වෙළඳපළක් ඇතිකිරීම සහ පවත්වාගෙන යාම, ආයෝජකයන් ආරක්ෂා කිරීම, සුරැකුම් පත් වෙළඳපළ විධිමත් කිරීම, වෘත්තීම ප්‍රමිති පවත්වාගෙන යන බව සහතික කිරීම, වන්දි අරමුදලක් පවත්වාගෙන යාම වැනි කටයුතු මෙම කොමිෂන් සභාවේ අරමුණු වෙනව....

ඒ වගේම බලපත්‍ර ලබාදීම, වෙළඳපළ අධීක්ෂණය, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, දඩුවම් පැමිනවීම හා ගනුදෙනු අත්හිටුවීම SEC එකට තියෙන ප්‍රධාන බලතල වෙනව.


මධ්‍යම තැන්පතු ක්‍රමය ( CDS )
කොටස් වෙළඳපළට පිවිසෙන ආයෝජකයෙක් මධ්‍යම තැන්පතු ක්‍රමය තුල තමන්ගෙ ගිණුමක් ආරම්භ කල යුතු වෙනව. මෙම මධ්‍යම තැන්පතු ගිණුම තුල ආයෝජකයකු විසින් මිලදීගන්නා කොටස් තැන්පත් වෙනු ලබනව. මධ්‍යම තැන්පතු ක්‍රමයේ ප්‍රධාන කාර්යය වෙන්නෙ භාරකරුවෙකු විදිහටත් ආරක්ෂකයෙකු ලෙසටත් කටයුතු කිරීමයි.


මිල දර්ශක
සමාගම් කොටස් වල මිල වෙනස් වීම මැන බලනනේ මිල දර්ශක වලිනි. කොළඹ කොටස් වෙළඳපළ තුල වැඩි වශයෙන් භාවිතා වල දර්ශක දෙක වන්නේ සියලු කොටස් මිල දර්ශකය සහ මිලංක මිල දර්ශකය වේ.

සියලු කොටස් මිල දර්ශකය ගණනය කරනු ලබන්නේ වර්තමාන වෙළඳපළ ප්‍රාග්ධනීකරණය, පාදක වර්ෂයේ වෙළඳපළ ප්‍රාග්ධනීකරණයෙන් බෙදා 100න් වැඩි කිරීම මගින්. මෙහිදී පාදක වර්ෂය ලෙස ගනු ලබන්නේ 1985 යි.

මිලංකා මිල දර්ශකය  වර්තමාන වෙළඳපළ ප්‍රාග්ධනීකරණය, පාදක වර්ෂයේ වෙළඳපළ ප්‍රාග්ධනීකරණයෙන් බෙදා 1000න් වැඩිකිරීම මඟින් ගණනය කරනු ලබයි. මිලංකා මිල දර්ෂකය සඳහා පාදක වර්ෂය ලෙස ගනු ලබන්නේ 1998 යි.
* මිලංකා මිල දර්ශකය ගණනය කිරීමේදී ‍ ‍යොදාගන්නේ තෝරාගත් සමාගම් 25ක් පමණි 

තවද කොටස් වෙළඳපළ තුල ක්ෂේත්‍ර 20ක් යටතේ සමාගම් ලැයිස්තු ගතවී ඇති අතර මේ එක් එක් ක්ෂේත්‍රය සඳහා වෙන වෙනම දර්ශක ගණනය කරනු ලබයි. මේ දර්ශක ආංශික දර්ෂක ලෙස හඳුන්වයි.
මෙම ලිපිය සමඟින් මූලික හැඳින්වීමේ ලිපි පෙළ අවසන් කරන අතර අදින් පසුව මෙම බ්ලොගය ආරම්භ කල මූලික අරමුණක් වූ කොටස් පිළිඹදව තොරතුරු ඉදිරිපත් කිරීම හා  ගනුදෙනු කරන ආකාරය පිළඹදව තොරතුරු ඉදිරිපත්වේ.  තැරැව්කාර සමාගම් පිළිඹඳ හැඳින්වීමක් නොකලත් මීළඟ ලිපි පෙළ තුලදී ඒ ගැන සඳහන් කිරීම සිදුවෙනු ඇති. තව තවත් මූලික කරුණු දැන ගැනීමට කැමති යම් අයෙක් වේ නම් www.cse.lk යන කොළඹ කොටස් වෙළඳපළ නිල වෙබ් අඩවියෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය. එමෙන්ම යම් ප්‍රශ්නයක් ඇත්නම්  එය කමෙන්ටුවක් ලෙසට ඉදිරිපත් කළහොත් ඔබට අවශ්‍ය තොරතුරු මාගේ දැනුමේ තරමින් ලබාදිය හැක.

මීලඟ ලිපි පෙළින් සමාගම් කොටස් පිළිඹඳව සහ වෙළඳපළ ගනුදෙනු වඩාත් ලාභදායී  සහ සැලසුම් සහගත ආකාරයට කරගන්නේ කෙසේද යන්න කතාබහ කරමු.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS